Most Popular Coding Challenge Websites

September 17, 2021 | Panchali Ekanayake


Coding කරන ඕනෑම කෙනෙක්ට අවශ්‍ය වන්නේ හොඳ programmer කෙනෙක් වීමටයි. හොඳ programmer කෙනෙක් වීමට අවශ්‍ය නම්, coding challenges වලට මුහුණ දී coding skills වර්ධනය කරගත යුතුය. මෙම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට ඇති හොඳ ක්‍රමයන් ලෙස competitive programming සහ coding competitions දැක්විය හැකිය. විවිධ ආකාරයේ අභියෝග සහ ප්‍රහේලිකා විසඳීමෙන් වඩා හොඳ programmer කෙනෙක් වීමට, programming language එකක ඇති සංකීර්ණතාවයන් ඉගෙන ගැනීමට, රැකියා සම්මුඛ සාකච්ඡා සඳහා සූදානම් වීමට, නව algorithms ඉගෙන ගැනීමට සහ තවත් බොහෝ දේ කළ හැකිය. මෙම ලිපියෙන් coding skills වැඩි දියුණු කිරීමට උපකාරී වන ජනප්‍රිය coding challenge websites කිහිපයක් ගැන කෙටි විස්තරයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු .

HackerRank

HackerRank යනු competitive coding challenges සඳහා තිබෙන ප්‍රමුඛතම website එකක් ලෙස හැඳින්විය හැකිය. ඔවුන් C, Java ,Python හා Ruby වැනි විවිධ programming languages පරිශීලකයන්ට coding challenges සිදුකිරීම සඳහා ඉදිරිපත් කරයි. මෙහිදී පරිශීලකයන්ට තම ගැටළු නිරාකරණය කරගැනීමට algorithms භාවිතා කළ හැකිය. ඊට අමතරව machine learning සහ artificial intelligence වැනි වර්තමානයේ වැඩි අවධානයක් යොමු වී ඇති domains ද භාවිතා කළ හැකි වීම මෙහි ඇති වාසියකි. මෙම අභියෝග නිවැරදිව විසඳීමෙන් තරඟකරුවන්ට badges උපයා ගත හැකි අතර එම badges අදාල තරඟකරුගේ ගිණුමට එකතු කරයි. තවද සමාගම් අනුග්‍රාහකත්වය ලබාදෙන coding challenges නිවැරදිව විසඳීමෙන් තරඟකරුවන්ට තම අයදුම්පත්‍ර ඉදිරිපත් කරමින් රැකියා සඳහා අයදුම් කිරීමට ද HackerRank වෙබ් අඩවිය අවස්ථාවන් සලසයි. HackerRank වෙබ් අඩවිය සෑම අභියෝගයකටම අදාළව discussion සහ leaderboard එකක් සපයයි. බොහෝ දුරට එම ගැටළුව පිලිබද පැහැදිලි කරන editorial එකක්ද තිබෙන නිසා අපැහැදිලි කොටස් තේරුම් ගැනීමටද, විසදුමට ළගා වීමට ද එය මහත් උපකාරයක් වෙයි.

HackerRank වෙබ් අඩවිය පවත්වන තරඟ වර්ග පහත පරිදි දැක්විය හැකිය.

101-Hack

HourRank

Week of Code

Ad Infinitum

Machine Learning Contests

TopCoder

TopCoder යනු online ක්‍රමවේදයට සිදුකරන programming සඳහා වූ ප්‍රමුඛතම platform එකක් ලෙස දැක්විය හැකිය. පරිශීලකයන්ට මෙහි coding කිරීම online editor එකක් භාවිතයෙන් සෘජුවම සිදුකළ හැකිය. එමෙන්ම මෙම වෙබ් අඩවිය අතීතයේ සිට පැවැත් වූ coding list එකක් ද පරිශීලකයන්ට සපයයි. TopCoder ඉදිරිපත් කරන ජනප්‍රිය ඒකල තරඟ වට නිශ්චිත වේලාවක මසකට කිහිප වතාවක් පවත්වයි. එහිදී තරඟකරුවන්ට තම සෙසු තරඟකරුවන්ට වඩා ඉහළම ලකුණු ලබා ගනිමින් වේගවත්ව coding challenges විසඳීම සිදුකළ හැකිය.

TopCoder හි top ranks උපයා ගත් අය හොඳ programmersලා ලෙස සැලකෙන අතර නිතිපතා coding competition සඳහා ඔවුන් ඉදිරිපත් වේ. Coding challenges වලට සහභාගී වීමට සහ තරඟ කිරීමට ඕනෑම කෙනෙකුට TopCoder සමග සම්බන්ධ විය හැකිය. TopCoder හි ප්‍රධාන වශයෙන් segments 4 ක් දැකිය හැක .

1. Design

2. Development,

3. Data Science

4. Competitive Programming

තවද TopCoder ප්‍රජාවේ ප්‍රධාන සංඛ්‍යාලේඛන කිහිපයක් පහත පරිදි ලැයිස්තු ගත කල හැකිය.

Facebook, Twitter සහ Microsoft යන ආයතනේ තුනම එක් විට ගත්තත් එහි සිටින ඉංජිනෙරුවන් ගණන මෙන් පස්ගුණයක් මෙහි සිටි.

කාර්තුවකට 1,400 කට අධික crowdsourcing challenges සම්පූර්ණ කෙරේ.

රටවල් 190 කට අධික සංඛ්‍යාවක මිලියන 1.5 ක් පමණ සාමාජිකයින් සිටී.

ආසන්න වශයෙන් නව සාමාජිකයින් 1800 ක් සතියකට එක් වෙති.

CodeChef

Codechef අධ්‍යාපන වැඩසටහනක් ලෙස ආරම්භ කරන්නේ 2009 වර්ෂයේ දී ඉන්දියානු මෘදුකාංග සමාගමක් වන Directy විසිනි.ඔවුන් තරඟකරුවන්ට තම coding skills දියුණු කර ගැනීමට හැකිවන පරිදි challenges ඉදිරිපත් කරයි.සෑම මසකම ආරම්භයේ දී programming competition එකක් පවත්වන අතර මාසය මැද සහ අවසානයේ කුඩා coding competition දෙකක් පවත්වයි. C,C++ ,Java සහ Python ඇතුළු programming languages 55 කට අධික සංඛ්‍යාවකින් solutions පිළිගන්නා බැවින් ඕනෑම language එකකින් පරිශීලකයන්ට තම විසදුම් ඉදිරිපත් කළ හැකිය. මෙම වෙබ් අඩවිය ඔවුන්ගේ පරිශීලකයන්ට online editor හී code ලිවීමට ඉඩ සලසා ඇත. තවද පරිශීලකයන්ගේ කුසලතා මට්ටම් අනුව විවිධ කාණ්ඩවලට බෙදී ඇති coding challenges එකතුවක් ද පවතී.

මෙහි නිබන්ධනයන් ලිවීමට , CodeChef තරඟ සඳහා සහභාගි වීමට මෙන්ම discussion වලට දායක වීම සඳහා coding සිදුකරන විශාල පිරිසක් එක් රැස් වී සිටින බව දැක ගත හැකිය. CodeChef යනු තරඟකාරී programming වෙබ් අඩවියක් වන අතර එමඟින් ආයතන 12,000 ක 1,250,000+ක් පමණ වූ programming සිදු කරන පරිශීලකයන් සිටී. මිලියන 92 ක් පමණ submissions සහිතව දළ වශයෙන් 3200ට අධික coding competiton ප්‍රමාණයක් පවත්වයි.

LeetCode

පරිශීලකයන්ගේ coding skills වැඩි දියුණු කිරීම සඳහා විවිධ coding challenges ලබා දෙන platform එකක් ලෙස LeetCode හැදින්විය හැකිය. තරඟකරුවන් සඳහා සතිපතා සහ සති දෙකකට වරක් විවිධ coding වැඩසටහන් ඉදිරිපත් කරයි. තරඟ සාමාන්‍යයෙන් මිනිත්තු 90 ක කාලයක් පවතී. LeetCode ඕනෑම program language එකකින් ඔවුන්ගේ online editor එක උපයෝගී කරගනිමින් coding challenges සිදු කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙයි. programming competitions වලට අමතරව රැකියා සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් වීම, discussion සිදු කිරිම වැනි විවිධ අතිරේක අංගයන් ද LeetCode වෙතින් ලබා දේ. Coding challenges 1400කට වඩා පුහුණු විය හැකි අතර එම සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. ජනප්‍රිය programming languages 14 කට වැඩි ගණනකට සහය දක්වයි. එසේම,සෑම තරඟයක් අවසානයේම, ඉහළ පෙළේ තාක්‍ෂණ දැවැන්තයින් තුළ රැකියාවක් ලබා ගැනීමට උපකාරී වන ශ්‍රේණිගත කිරීම් සහ ලකුණු තරඟකරුවන්ට පිරිනැමේ.

SPOJ

Sphere Online Judge (SPOJ) යනු 20000 ට අධික coding challenges ප්‍රමාණයක් ලබා දෙන online judge system එකකි . පරිශීලකයාගේ code එක online editor එකක ඉදිරිපත් කිරීමට හැකිය. SPOJ ඔවුන් විසින්ම පවත්වන තරඟ සඳහා සත්කාරකත්වය සපයන අතර පරිශීලකයින්ට coding challenges පිලිබදව සාකච්ඡා කිරීම සඳහා වෙබ් අඩවියේ වෙනම ප්‍රදේශයක් ද ලබාදෙයි. ඔවුන් දැනට official solutions හෝ editorials සපයන්නේ නැත.

Coderbyte

Coderbyte යනු coding challenges සහ algorithm tutorial collection එකක් සහිත web application එකකි. එමඟින් පරිශීලකයන්ට ඔවුන්ගේ coding skills දියුණු කර ගැනීමට සහ සම්මුඛ සාකච්ඡාවන් හිදී coding කිරීමට සූදානම් වීමට උපකාරී වේ. Coderbyte මගින් පරිශීලකයන්ට programming languages 10 කින් online ක්‍රමවේදයට සෘජුවම විසඳා ගත හැකි 200ට අධික coding challenges ප්‍රමානයක් ඉදිරිපත් කරයි. ඔවුන් ලබාදෙන challenges සරලබවේ සිට සංකීර්ණත්වය දක්වා විහිදේ. ඔවුන් algorithm tutorials, introductory videos මෙන්ම interview preparation courses එකතුවක් ද ලබා දේ. වෙනත් මේ හා සමාන වෙබ් අඩවි මෙන් නොව, Coderbyte විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල විසඳුම් හැර වෙනත් ඕනෑම පරිශීලකයෙකු ඕනෑම coding challenge එකක් සඳහා ලබා දෙන විසඳුම් අනෙකුත් පරිශීලකයන් ට දැක ගත හැකිය.

Project Euler

Project Euler යනු computer programs මඟින් විසඳීමට අදහස් කරන challenges series එකක් සඳහාම වෙන්වූ වූ වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවියට ගණිතය සහ coding කෙරෙහි උනන්දුවක් දක්වන වැඩිහිටියන් හා ශිෂ්‍යයින් ආකර්ෂණය වේ.පරිගණක විද්‍යාව සහ ගණිතය යන ක්ෂේත්‍රයන් සදහා මේ මඟින් challenges collection එකක් සපයයි.

CodeWars

CodeWars යනු programming සඳහා වූ educational site එකකි. මෙහිදී computer developersලා විසින් “kata” ලෙස හැඳින්වෙන programming challenges පුහුණු කරයි.

CodeWars විසින් සංස්කරණය කරන ලද විශාල coding challenges collection එකක් සපයයි. CodeWars මගින් පරිශීලකයන්ට programming language කිහිපයකින් එකක් තෝරාගෙන online ක්‍රමවේදය ඔස්සේ challenges සෘජුවම විසඳා ගත හැකිය. සෑම අභියෝගයක් සඳහාම discussion පැවැත්වීමට මෙන්ම solutions ලබා ගැනීමට ද හැකි ය.

ඉහත සදහන් websites අනෙකුත් coding challenge websites වලට වඩා කාලයක් ගත වුවද තවමත් ජනප්‍රිය වීමට හේතු වී ඇත්තේ ඒවායේ අන්තර්ගත challenges සහ competitions වලට සහභාගී වීමෙන් programmersලා ලබන තෘප්තියයි. Coding කරන විට හොද තර්කන හැකියාවක් තිබිය යුතුය. එම හැකියාවන් දියුණු කරගැනීමට ඉහත සදහන් websites වලින් හොද පිටුවහලක් ලබා දේ.


මේවායින් පිරිනමන challenges වලට මුහුණ දීමෙන් coding skills වර්ධනය කරගත හැකි සේම coding competitions වලට සහභාගී වීමෙන් පරිශීලකයන්ට තම සාධන මට්ටමද උරගා බැලිය හැකිය. තවද කණ්ඩායම් ලෙස එකම ගිණුමකින් සහභාගී වී තරඟ වැදිය හැකි වීමද සුවිශේෂී කරුණකි. එනිසා කණ්ඩායම් හැගීමද වර්ධනය කරගත හැකිය.


මෙම websites මගින් පරිශීලක ගිණුම් වල ඔවුන්ගේ සාධනීය මට්ටම් ශ්‍රේණිගත කර පෙන්වන නිසා ඉහළ දක්ෂතා පෙන්වන programmersලාට high tech companies වල රැකියා ලබා ගැනීමට අවස්ථාව උදාවේ.

සටහන - පංචාලි ඒකනායක