IT ක්ෂේත්‍රයේ රැකියා ගැන දැනගමු

August 27, 2021 | Kumudumali Sandaleka

Computer science ආශ්‍රිත රැකියා වලට Computer එකත් එක්ක වැඩ කරන එක වගේම Computer System එකත් එක්ක වැඩ කිරීම ඇතුළත් වෙනවා. ඔබ technology එක්ක වැඩ කිරීම හා අලුත් technological updates පිළිබඳව උනන්දුවක් තියන කෙනෙක් නම්, Computer Science ආශ්‍රිත රැකියාවක් ඔබට වඩාත් ගැලපෙනවා. මෙම ලිපියෙන් අපි පරිගණක විද්‍යාවේ විවිධ වෘත්තීන් සඳහා තියන Job outlook එක ගැන කතා කරමු.

සංඛ්‍යාලේඛන පුරෝකථනය කරන්නේ පරිගණක විද්‍යාව ආශ්‍රිත රැකියා 2019 සිට 2029 දක්වා 15% ක ඉතා වේගවත් වර්ධන වේගයකින් නැඟී එන ක්ෂේත්‍රයක් බවයි. පරිගණක විද්‍යාඥයෝ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කරන අතර තාක්ෂණික දියුණුවත් සමඟ පරිගණක විද්‍යාව ආශ්‍රිත රැකියා අවස්ථා වැඩි කර ගත හැකි ක්‍රම සොයති. වර්තමානයේ මෙන්ම අනාගතයේ දී දත්ත වලට වැඩි වටිනාකමක් ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඉතින් දත්ත එකතු කිරීම එහෙමත් නැත්තම් data collection කියන එක වඩා ජනප්‍රිය දෙයක්. ඉතින් මේ දත්ත එකතු කිරීමේ ක්‍රියාවලිය පහසු කිරිමට හා ඒවා ආරක්ෂිතව ගබඩා කර ගැනීම වෙනුවෙන් සයිබර් ආරක්ෂක මෘදුකාංග මෙන්ම වඩා වැඩි ධාරිතාවකින් හා වැඩි කාර්යක්ෂමතාවකින් යුතු පරිගණක නිපද වීම මේ වනවිට ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් තිබෙන දේවල් ගණයට වැටෙනවා.

පරිගණක විද්‍යාව ආශ්‍රිත රැකියා

ඔබේ වැටුප් හා රැකියා අපේක්ෂාවන් සමඟ ඔබට අයදුම් කළ හැකි පරිගණක විද්‍යා රැකියා කිහිපයක් ගැන අපි දැන් කතා කරමු.

Computer Systems Analyst

Computer Systems Analyst කියන්නෙ Companies and Organizations වලට තාක්ෂණික භාවිතයන් සඳහා පරිගණක පද්ධති ස්ථාපනය කිරීම හා නඩත්තු කිරීම කරන අය. ඔවුන් වැඩ කරන සමාගම අනුව වාර්ෂිකව ඩොලර් 77,159 ක සාමාන්‍ය වැටුපක් උපයා ගන්න පුළුවන්.


සංඛ්‍යාලේඛන වලට අනුව, පරිගණක පද්ධති විශ්ලේෂක රැකියා 2019 සිට 2029 දක්වා කාල පරාසය තුළ 7% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කරල තියනවා. කාර්යාල හා ව්‍යාපාර වල තොරතුරු තාක්ෂණය භාවිතය වර්තමානය වන විට වැඩි වෙලා තියනවා ඒ වගේම වැඩි වෙමින් පවතිනවා. ඉතින් ඒකත් එක්ක මේ අංශයේ රැකියා අවස්ථාවල වර්ධනයක් දැකිය හැකියි

Computer Programmer

Computer Programmer කෙනෙක් කියන්නෙ අලුත් පරිගණක වැඩසටහන් හදල ඒවා පරිගණකයේ ස්ථාපනය කළ හැකි වන පරිදි පරිගණක මෘදුකාංග නිර්මාණය කරන කෙනෙක්ට. Computer Programmer කෙනෙක් විශාල කාලයක් ගත කරන්නෙ code ලිවීම සහ ඔවුන් නිර්මාණය කරන ලද program වලට ඒ code යෙදීම එක්ක. පරිගණක ක්‍රමලේඛකයින් සඳහා වන basic salary එක මේ වෙනකොට වසරකට ඩොලර් 48,229 ක් වගේ අගයක් ගන්නවා.

Computer Engineer

Computer engineer, පරිගණකය සහ අනෙකුත් තාක්‍ෂණික මෙවලම් තැනීම, අළුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම වැනි පරිගණකයේ දෘඨාංග අංශ කෙරෙහි අවධානය යොමු කරන්නෙකි. පරිගණක ඉංජිනේරුවන්ට පරිපථ පුවරු සහ පරිගණක චිප් වැනි දේ නිෂ්පාදනය, ඒවා නිවරද්‍යතාවය පරීක්ෂාව සහ අවශ්‍ය අලුත්වැඩියාවක් හෝ ස්ථාපනයක් සිදු කිරීමට හැකියාවක් පවති. පරිගණක ඉංජිනේරුවෙකු සඳහා වර්තමාන basic salary එක වසරකට ඩොලර් 96,843 කි.


සංඛ්‍යාලේඛන වලට අනුව, පරිගණක ඉංජිනේරු රැකියා අවස්ථා 2019 සිට 2029 දක්වා 2% කින් වර්ධනය විය හැකිය. මෙය මන්දගාමී වර්ධනයක් සේ පෙනුනද, පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපකරණ අඛණ්ඩව වර්ධනය වන ඉල්ලුම සමඟ පරිගණක ඉංජිනේරුවන්ගේ ඉල්ලුම වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වේ.

Computer Support Specialist

තම පරිගණකය සමඟ ගැටලු අත්විඳින පරිශීලකයින්ට උපදෙස් සහ උපකාර ලබා දෙන කෙනෙකු Computer Support Specialist ලෙස හඳුන්වා දිය හැක. Computer Support Specialistලට පරිගණක ජාල (network) පද්ධති පරීක්‍ෂා කිරීමට සහ නඩත්තු කිරීමට හැකි අතර සාමාන්‍යයෙන් පුළුල් ප්‍රදේශ ජාල සහ අන්තර්ජාල පද්ධති වැනි විවිධ ජාල වල අත්දැකීම් ඇත. පරිගණක ආධාරක විශේෂඥයින් වසරකට ඩොලර් 28,401 ක සාමාන්‍ය වැටුපක් උපයති.


2019 සිට 2029 දක්වා පරිගණක ආධාරක විශේෂඥ රැකියා අවස්ථා 8% ක ඉතා වේගවත් වර්ධන වේගයකින් වර්ධනය විය හැකි බව සංඛ්‍යාලේඛන වල පුරෝකතනයන් වල සඳහන් වේ. එයට හේතුව වෙන්නෙ, වැඩි වැඩියෙන් organizations තම පරිගණක මෘදුකාංග හා දෘඨාංග වල යාවත්කාලීන කිරීම. මන්ද යත් ඒවා ස්ථාපනය සහ නඩත්තුව සඳහා උපකාර කිරීමට සහ එහිදී ඇති වන ඕනෑම ගැටලුවකට පිළිතුරු දීමට පරිගණක ආධාරක විශේෂඥයින් අවශ්‍ය වන බැවිනි. තාක්‍ෂණයේ වැඩි දියුණුවත් සමඟ, IT department එකක් නොමැති කුඩා ව්‍යාපාර සඳහා පරිගණක ආධාරක විශේෂඥයින් බඳවා ගැනීම මඟින් ඔවුන්ගේ ගැටලු විසඳාගැනීමට උපකාර ලබාගැනීමට යොමු වීම.

Data Scientist

පරිගණක විද්‍යාඥයින්ට පමණක් නොව ඕනෑම කෙනෙක්ට තේරුම් ගත හැකි ආකාරයෙන් දත්ත විශ්ලේෂණය කර, සංවිධානය කර ඉදිරිපත් කිරීම, දත්ත විද්‍යාඥයෙකු ගේ කාර්යභාරය වේ. දත්ත වල ස්වභාවය අනුව දත්ත විශ්ලේෂණය කර, සරල කළ හැකි Statistical Models දියුණු කිරීම ද දත්ත විද්‍යාඥයින්ට කළ හැකිය. දත්ත විද්‍යාඥයෙකු සඳහා වන සාමාන්‍ය වැටුප දැනට වසරකට ඩොලර් 122,242 කි.


2019 සිට 2029 දක්වා දත්ත විද්‍යාඥයින්ගේ රැකියා අවස්ථා 15% කින් වර්ධනය වන බව සංඛ්‍යාලේඛන අනාවැකි පළ කරන අතර එය ඉහත කතා කළ රැකියා වලට සාපේක්ෂව ඉතා වේගවත් වර්ධන වේගයකි. පරිගණක කර්මාන්තයේ නිරන්තරයෙන් සිදු වන නවෝත්පාදනයන් හේතුවෙන්, පරිගණක හා පරිගණක පද්ධති භාවිතා කරමින් දත්ත වාර්තා තබාගනිමින් ඒවා විශ්ලේෂණයට පෙළඹීම ඉහත කී වර්ධන වේගයක් ලබාගැනීමට හේතු වේ.

Software Engineer

Software engineer කෙනෙක් පරිගණක සහ පරිගණක පද්ධති සඳහා නව මෘදුකාංග වැඩ සටහන් සකස් කරයි. සමහර මෘදුකාංග ඉංජිනේරුවන් ජංගම දුරකථන සහ Desktop වැනි උපාංග සඳහා පරිගණක වැඩසටහන් නිර්මාණය කරති. මෘදුකාංග ඉංජිනේරුවන් සඳහා වන දළ වැටුප දැනට වසරකට ඩොලර් 107,914 කි.


සංඛ්‍යාලේඛනවලට අනුව, මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සහ developers ලගේ රැකියා අවස්ථා 2019 සිට 2029 දක්වා 22% කින් වර්ධනය වනු ඇතැයි ගණන් බලා ඇති අතර එය ඉහත කී සියළු රැකියාවලට සාපේක්ෂව සුවිශේෂී වේගවත් වර්ධන වේගයකි. Smartphones සහ Tablet පරිගණක ඇතුළු ජංගම උපාංග සහ පරිගණක සඳහා නව යෙදවුම් මෘදුකාංගවල ඇති අඛණ්ඩ ඉල්ලුම මෘදුකාංග ඉංජිනේරුවන්ගේ රැකියා අවස්ථාවල මෙම වර්ධනයට හේතුවන බව විචාරකයන්ගෙ මතයයි.

Database Administrator

Database Administrator යනු දත්ත සමුදායක ක්‍රියාකාරීත්වය පිලිබඳ කටයුතු කරන පුද්ගලයෙකි. මොහුට දත්ත සමුදාය සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම මෙන්ම දත්ත සමුදායේ ආරක්ෂාව ගැනද වගකීමට සිදු වේ. මෙම තනතුර සදහා දත්ත සමුදාය කළමනාකරණයට අදාල SQL වැනි query languages පිළිබඳවද, Unix වැනි මෙහෙයුම් පද්ධති පිළිබඳවද දැනුම අවශ්‍ය වේ. දත්ත සමුදා පරිපාලකයෙකුගේ වාර්ෂික වැටුප සාමාන්‍යයෙන් $ 93,750 ක් පමණ වේ.

2019 සිට 2029 දක්වා කාලය තුළ දත්ත සමුදා පරිපාලකයින්ගේ රැකියා අවස්ථා 10% කින් වර්ධනය වේ යැයි සංඛ්‍යාලේඛන පුරෝකථනය කර තිබෙනවා. ඊට හේතුව වන්නේ ආයතන පිලිවෙලකට අසුරන ලද දත්ත මත තීරණ ගැනීමට උනන්දුවක් දැක්වීමයි.

Computer Network Architect

Computer Network Architect යනු දත්ත සන්නිවේදන ජාල වල ක්‍රියාකාරිත්වය පිළිබඳ කටයුතු කරන පුදගලයාය. පරිගණක ජාල නිර්මාණය කිරීම සහ සැලසුම් කිරීම පරිගණක ජාල නිර්මාණශිල්පියෙකුගේ වගකීමයි. මේ අතර තොරතුරු පද්ධති නිර්මාණය කිරීමද ඇතුලත් වේ. පරිගණක ජාල නිර්මාණශිල්පියෙකුගේ වැටුප $116,780 ක් පමණ වේ.

2019 සිට 2029 දක්වා කාලය තුල අනෙකුත් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව 5%ක වැඩි ඉල්ලුමක් මෙම රැකියාව සදහා ඇති වන බව සංඛ්‍යා ලේඛන පුරෝකථනය කරයි. මීට හේතුව ලෙස ආයතන තම තොරතුරු සන්නිවේදන ජාල පුළුල් කිරීම දැකගත හැකිය. නව ජාල නිර්මාණය කිරීම සහ පවත්නා ජාල වැඩි දියුණු කිරීම නිසා නව රැකියා අවස්ථා බිහි වේ.

Web Developer

Websites සහ Web Applications නිර්මාණය කිරීම සිදු කරන්නෙ Web Developer විසිනි. සේවායෝජකයින්ගේ අවශ්‍යතාවන්ට / විශේෂීකරණයන්ට අනුව වෙබ් අඩවි නිර්මාණය කිරීම වෙබ් අඩවි සංවර්ධකගේ වගකීමයි. එනම් වෙබ් පිටුවල UI සැකසීම HTML, CSS, JavaScript, react භාවිතා කරමින් front-end එක සැකසීම සිදු කරයි. NodeJS, PHP, Python, Go වැනි තාක්ෂණයන් භාවිතා කරමින් back-end එක නිර්මාණය කරනු ලබයි. Web Developer කෙනෙකු වාර්ෂිකව සාමාන්‍යයෙන් $69,430ක පමණ ආදායමක් ලබයි.

Web Developer සදහා ඇති රැකියා අවස්ථාවන් ප්‍රමාණය 13%කින් වර්ධනය වේ යැයි සංඛ්‍යාලේඛන වාර්තා පුරෝකථනය කරයි. වර්ථමානයේ බොහෝ දෙනෙක් විවිධ හේතු මත පදනම් ව තම අවශ්‍යතා සපුරා ගැනීමට විවිධ applications භාවිතා කරයි. එමගින් කාලය ඉතුරු වීම සහ කාර්‍යයන් සිදු කිරීම වඩාත් පහසු වීම හේතු ලෙස දැකගත හැකිය. මේ නිසා අනාගතයේදී තාක්ෂණයේ දියුණුවත් සමග රැකියා අවස්ථා බොහෝ සෙයින් ඇති වීම දැකගත හැකිවේ.

Information Security Analyst

ආයතනයක සංවේදී තොරතුරු සහ දත්ත වල ආරක්ෂාව පිලිබඳ වගකියන්නෙ Information Security Analyst විසිනි. ආයතනයේ ආරක්ෂක පද්ධතිය බිද වැටීමෙන් වළක්වා ගැනීම, ආරක්ෂාව වැඩි දියුණු කිරීමට නව පියවරයන් ගැනීම සහ පද්ධතියේ ඇති වැරදි අඩුපාඩු සොයා බැලීම සහ ඒවා නිවැරදි කිරීම මොහු සතු වගකීමයි. මෙය ඉතාමත් වගකීම් සහිත රැකියා අවස්ථාවකි. වාර්ෂිකව සාමාන්‍යයෙන් $103,590ක ආදායමක් Information Security Analyst කෙනෙක්ට හිමි වේ.

2019 සිට 2029 දක්වා කාලය තුල 31%ක රැකියා අවස්ථාවන් ප්‍රාමාණයක් බිහි වේ යැයි සංඛ්‍යා ලේඛන වාර්තා අනුමාන කරයි. සයිබර් ප්‍රහාරයන් සිදු වීම ඉහළ යාමක් ඇති නිසාත් මෙම සංවේදි දත්ත hackersලට නතු වීම වැළක්වීමටත් ආරක්ෂාව තර කිරීමට සිදු වී ඇත.

Cybersecurity

Cybersecurity යනු වර්ථමානයේ නැගී එන රැකියා විශාල ප්‍රමාණයක් ඇති ක්ෂේත්‍රයක්. ආයතනයක තොරතුරු පද්ධති, ජාල සහ වෑඩසටහන් ඩිජිටල් ප්‍රහාර වලින් වළක්වා ගැනීම Cybersecurity හිදී සිදු කරයි. සංඛ්‍යා ලේඛන වාර්තා පුරෝකථනය කරන ආකාරයට ඉදිරි වර්ෂ 10ක කාලය තුලදී මෙම ක්ෂේත්‍රයේ රැකියා වලට ඇති ඉල්ලුම 31%කින් වර්ධනය වේ යැයි අපේක්ෂා කරයි. මෙම ක්ෂෙත්‍රයේ ප්‍රවීණයින්ගේ ඇති හිකම නිසා මෙම ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන පුද්ගලයින්ට වැඩි වටිනාකමක් මෙන්ම ඉහල වැටුප් ද ප්‍රතිලාභ රැසක් ද හිමිවේ.

පහත සදහන් රැකියා Cybersecurity ක්ෂේත්‍රයේ වැඩිම වැටුප් හිමි රැකියා අවස්ථා ලෙස දක්වන්න පුලුවන්.

Information Security Manager

Cybersecurity Engineer

Application Security Engineer

• Cybersecurity Analyst

• Penetration Tester

• Network Security Engineer

ආයතන වල තොරතුරු පද්ධතීන්ට සිදු වන සයිබර් ප්‍රහාර මගින් හැකර්කරුවන් සංවේදී දත්ත වලට ඇතුල් වීම ඒවා වෙනස් කිරීම සහ විනාශ කිරීම සිදු කරයි. ඒවාගේම ආයතනයක් මුලුමනින් බි දැමීමට මෙම ප්‍රහාරයන්ට පුලුවන්. එම නිසා Cybersecurity යනු ඉතාමත් වැදගත් රැකියා ක්ෂේත්‍රයක්. ඒවාගේම ඉහල ඉල්ලුමක් ඇති අංශයක්. ඊට හේතුව වන්නේ බොහෝමයක් ව්‍යූහ ජාලකරණයට ලක් වී තිබීමය. තාක්ෂණයේ දියුණුවත් සමග ඩිජිටල්කරණයට ලක් වීම සහ ඒව දවසින් දවස වෙනස් වීම හේතුවෙන් ඒවාට ගැලපෙන අයුරින් සංවර්ධන කටයුතු කළ යුතු නිසා මෙම ක්ෂේත්‍රයට ඇති ඉල්ලුම නොවෙනස්ව පවතී.

පරිගණක විද්‍යාව ආශ්‍රිත රැකියාවකට ලැදි, ඔබ ලඟා කරගත යුතු කුසලතා මොනවාද?

පරිගණක විද්‍යාඥයින්ට සහ පරිගණක විද්‍යා ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට තාක්‍ෂණය පිළිබඳ විශේෂ කුසලතා අවශ්‍ය වේ. පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනුම, පරිගණක මෘදුකාංග පද්ධති තැනීමට හා නඩත්තු කිරීමට ඇති හැකියාව සහ පරිගණක පර්යේෂණ පැවැත්වීම සඳහා විවිධ ක්‍රම ගැන අවබෝධයක් තිබීම මේ කුසලතා අතරට ඇතුළත් වේ. විශේෂයෙන් පරිගණක විද්‍යාඥයන්ට, ඔවුන්ගේ රැකියාවේදී, අනපේක්‍ෂිත අවස්ථාවල ආරක්‍ෂාව බිඳවැටීමක දී හෝ පරිගණක කේතයක් නිසි ලෙස ක්‍රියාත්මක වීම වැනි බලාපොරොත්තු නොවන ඕනෑම අවස්ථාවක ඒවාට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය ගැටලු විසඳීම සහ තීරණ ගැනීම වැනි විවිධ කුසලතා ඔහු හෝ ඇය සතු විය යුතුය.

සටහන - කුමුදුමාලි සඳලේකා